ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය පිළිබඳ විමසීමේදී එහි පිහිටා ඇති ස්වභාවික කඳු වලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ඊට හේතුව, ඒවා ස්වභාවධර්මයාගෙන් ලැබුණු සෞන්දර්යාත්මක දේ බැවිනි. පුංචි සීගිරිය හෙවත් බතලේගල කන්ද ද එවැන්නකි. ලෝකයේ අටවන පුදුමය ලෙස නම් දැරූ සීගිරි පර්වතයට සමාන හැඩයක් තිබෙන නිසා බතලේගල කන්ද “පුංචි සීගිරිය” ලෙස හදුන්වනු ලැබේ. එසේම මෙම ස්ථානය සෞන්දර්යත්වය හා ඓතිහාසිකත්වය ද කැටි වූ සොබාදමේ අපූරු නිර්මාණයක් ලෙස අවිවාදයෙන් පැවසිය හැකි ය. උතුරින් සූරසරදියල්ගේ “උතුවන්කන්දෙන්” ද, දකුණින් “සාමසර කන්දෙන්” ද , නැගෙනහිරින් සොබාදමේ තවත් ආකර්ෂණීය නිමැවුමක් වූ “අම්බුළුවාව” කන්දෙනුත්, බටහිරින් “ඌරා කන්දෙනුත්”  වටවුණු බතලේගල කන්ද, මීට අමතරව අලගල්ල, දෙවනගල, හන්තාන, වාකිරිගල ආදී කඳු වලින් ද වට වූ හුදකලා කන්දක් ලෙස දැක්විය හැකිය. මුහුදු මට්ටමේ සිට අඩි 2780ක් පමණ උසකින් පිහිටි බතලේගල කන්ද මුදුනේ වන පර්වතය අඩි 540ක් පමණ උස වේ. මෙය සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක නගරයට ආසන්නව පිහිටි “සබරගමු ලලනාවන්ගේ” සොඳුරු බව ඔප්නංවන ආභරණයක් බඳුය. මාවනැල්ල නගරයේ සිට දෙබත්ගමට යන බසයක නැගි අනතුරුව හත්ගම්පල නැමැති හංදියෙන් “බතලේගල පර්වතයට” යන මාවත අසලින් බැස එතැන් සිට  2.5km ක පමණ දුරක් පයින් ගමන් කළ යුතුය. මෙම 2.5km දුර ප්‍රමාණය අවසානයේ පර්වතයට නැගිය හැකි අතර, එතෙක් මෙම මාර්ගය අවට පර්වතය ආශ්‍රිතව ඇති අක්කර 150ක් පමණ වූ රක්ෂිතය නැරඹිය හැකිය. මෙය අපූරු  ජෛව විවිධත්වයෙන් අනූන වූවකි. බතලේගලට අයත් මෙම අක්කර 150ක පමණ වූ පරිසරයෙන් යුත් බිම් ප්‍රමාණයෙන් අක්කර 06ක් පමණ පූජා භූමියක් ලෙස විහාරස්ථානයකට වෙන් කර ඇත. ඉතිරි භූමි ප්‍රමාණය තුල ක්‍රමයෙන් මිනිසුන් පදිංචි වී ඇත. ඈතින් පෙනෙන පර්වතය දෙසට ගමන් කිරිමේ දී මෙම පරිසර පද්ධතියේ දැක ගත හැකි ශාක රාශියකි. දෙසවන් පිනවන විහඟ නාද රැසකි. අලංකාර උඩුවියනකින් යුත් ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ සුලභ ලෙස දැකිය හැකි ශාක හා පැළෑටි අතර , ඉතා දුර්ලභ හා ආවේණික ශාක රාශියක් ද ඇත. එමෙන් ම අලංකාර මල් පිපෙන ඕකිඩ් වර්ග විශාල සංඛ්‍යාවක් ද මේ පරිසරයේ දක්නට ලැබේ. අහිංසක මුව පොව්වන්ට මෙන් ම විෂඝෝර සර්පයින්ට ද මෙහි සෙවණ සැලසී ඇත. බතලේගල පර්වතය මතුපිට තැනිතලා ස්වරූපයක් ගනී. මෙහි දිග සාමාන්‍යයෙන් 350m ක් පමණ වන අතර, පළල 38m පමණ වේ. මෙහි මතුපිට අඩි 5 – 6 ක පමණ පස් තට්ටුවක් ඇති අතර, එම පස් තට්ටුව රතුකහ පොඩිසොලික් (Red Yellow Podisolic )  හා ලැටරයිටි යන පාෂාණවලින් සමන්විත වේ. මෙකී තැනිතලා බිමේ මාන පදුරු, කහට ගස් ආදිය ද තැනින් තැන දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 23ක පමණ උෂ්ණත්වයක් ද වාර්ෂිකව 4500mm ක් පමණ වර්ෂාපතනයක් ද ලැබේ. ආර්ද්‍රතාව 85% ක පමණ ඉහළ අගයක් ගනී. ජෛව විවිධත්වයෙන් අනූන සොබාදම් මාතාවගේ අපූරු නිමවුමක් වූ බතලේගලට සත්තකින් ම අද ලබා ඇත්තේ එතරම් යහපත් කලදසාවක් නොවේ. ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකින් සමන්විත ව, පාරිසරික තුල්‍යතාවට ඉමහත් මෙහෙයක් ඉටු කරන මෙකී පරිසරය රැක ගැනීම අද දවසේ අප සැමගේ යුතුකම වේ.

Scroll To Top